1. පැය හතකවත් නින්දක් ලබා දෙන කාලසටහනකට අනුව නිදාගන්න
නිදාගන්න කාලසටහන්? මොන මගුලක් ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් මෙහෙම දේවලුත් කරන්න වෙනවා. අපේ ජීවිත සෑහෙන කාර්‍යබහුලයි තමයි. හැබැයි ඒක නිසා දවසකට අවශ්‍ය නිදා ගැනීමේ පැය ගණන අඩු වෙනවා නම් ඒක සෞඛ්‍යයට හොඳ මදි. එකම වෙලාවකට නිදාගන්නයි නැගිටින්නයි පුරුදු වුණා නම් මේ කිසි අවුලක් නෑ. එහෙමයි කියලා කට්ටිය හවසට හවසට පුංචි පහේ නින්දක් දාන්න යන්න ලෑස්ති වෙන්නත් එපා. නිදාගන්න හොඳම කාලය රාත්‍රී කාලය. ඒකේ ඇහැරිලා ඉඳලා අනික් දවස පුරාම නිදි කිර කිරා තමයි ඉන්න වෙන්නේ.
2. නිදන කාමරය පිළිබඳ සැලකිලිමත් වෙන්න
නිදාගන්න කියලා පොල් උලක් පෙන්නලා ආ මේකේ නිදාගන්න කිව්වට හරි යන්නේ නෑ. නිදාගන්නත් අවශ්‍ය කරන යටිතල පහසුකම් තියෙනවා. නිදන කාමරය තියෙන්න ඕනි විදිය ගැන කතා කරොත් මෙළෝ සද්දයක් නැති ආලෝකයක් නැති චීස් කෑල්ලක් වගේ ආස හිතෙන විදියට තියෙන්න ඕනි. ඒ වගේම පිරිසිදුකම වැදගත්. ඉතින් අන්න ඒ නිසා ගෙදර ඉන්න බලු නගුටයි පූසයි නිදන කාමරේට ගෙන්නා ගන්න එපා. නිතරම ජනේල ඇරලා පිරිසිදු වාතාශ්‍රය ඇතුළට එන්න සලස්වන්න.
3. ඇඳ ගැන සැලකිලිමත් වෙන්න
නිදාගන්න ඇඳේ මෙට්ටෙයි කොට්ටෙයි ඉන්න ඕනි බබාලා වගේ. නැත්නම් කොන්දේ අමාරුයි බෙල්ලේ අමාරුයි ඇතිවෙනවා. නිදාගන්න වෙන්නේ නෑ ඒ අමාරුවට. ඇඳේ අපි ඔළුව තියන පැත්ත කාමරේ ප්‍රධාන බිත්තියට පිට දීලා තියෙන විදියට ඇඳ ස්ථානගත කරන එක හොඳයි කියන එකයි බොහෝ දෙනාගේ මතය. කාමරේ දොරත් ජනේලයත් පේන විදියට ඇඳ තිබීමත් හොඳයි ලු. ඒත් මේ එකකටවත් වඩා තමන්ට පහසු තැනෙකින් ඇඳ තබා ගැනීම වෛද්‍ය විද්‍යාත්මකව ගුණයි.
4. විදුලි උපාංග ඉවත් කරන්න
ඉස්සර මිනිස්සු ඇඳට ආවේ පොතක් අරන්. දැන් එන්නේ ෆෝන් එක අරන්. ඇත්තටම දැන් කියන්නේ පොතක් අරන්වත් ඇඳට එන්න එපා කියලා. ඉතින් හිතන්නකෝ ෆෝන් උස්සන් ආවාම ඒක කොච්චර හානිකර ද කියලා. නිදාගන්න අඩුම තරමේ විනාඩි 30කට විතර කලින් සියලු ම විදුලි උපාංග පාවිච්චියෙන් ඉවත් කරන්න කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ඔළුගෙඩියට ළංවෙන්න ෆෝන් එක තියාගෙන නිදාගන්න එකෙන් පිළිකාවක් වැළඳෙන්න තියන ඉඩ වැඩි කරන බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන තියනවා.
5. ආහාර පුරුදු
රෑට කොහොමත් සැහැල්ලු ආහාරයක් ගන්න කියලනේ කියන්නේ. කන ඒවා මොන විදියකින්වත් දහනය වෙන්නේ නැති නිසා නිදාගන්න කලින් පොඩි බඩගින්නක් ආවොත් ඉතාම සැහැල්ලු ආහාරයක් තමයි ගන්න ඕනි. නිදාගන්න කලින් මත්වතුර තියා ඕනෑවට වැඩියෙන් පානීය ජලයත් බොන්න එපා කියලා කියනවා. ආමන්ඩ්, වොල්නට්ස්, සුදු බත් වගේ කෑම නින්දකට උදව් දෙන පෝෂ්‍යදායී ආහාර විදියට හැඳින්වෙනවා.
6. ව්‍යායාම කරන්න
කෝකටත් තෛලේ වගේ ඕනෑම අර්බුදේකට ව්‍යායාම ගැන කියවෙනවා. ඒ වගේම යහපත් නින්දකට ව්‍යායාම හේතු වෙන්නේ කොහොමද? රෑට නිදාගන්න අපහසුතාවක් තියෙන අය දවසට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න අවශ්‍යයි. ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ගැඹුරු නින්දකට අවතීර්ණ වෙන ප්‍රවණතාව වැඩියි.
7. නින්ද සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න පිළිබඳ වෛද්‍ය සහාය පැතීම
වෛද්‍ය විද්‍යාවේ අපි නොහිතන දේවල් සම්බන්ධයෙන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නින්ද ගැන කතා කරොත් ඒත් එහෙමයි. නින්ද යන්නේ නැති එක, ඕනෑවට වඩා නින්ද යන එක කියන දෙකම නින්ද සම්බන්ධයෙන් පොදුවේ ඇතිවන ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට අමතරව නින්ද නිසා මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගොඩක් තියනවා . මේවා සම්බන්ධයෙන් පමා නොවී ප්‍රතිකාර ගන්නවා නම් හොඳයි මොකද ඕවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැනේ.
සුබ නින්දක්!
(LIFE)